අද කාලේ අපි හැමෝම බැංකු කටයුතු, සාප්පු සවාරි වගේම මිතුරු සබඳතා පවත්වන්නෙත් අන්තර්ජාලය හරහායි. ඒ නිසාම “Cyber Security” එහෙමත් නැත්නම් සයිබර් ආරක්ෂාව කියන දේ අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා. හැකර්වරුන්ගෙන් සහ දත්ත සොරකම් කරන්නන්ගෙන් බේරිලා ඉන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් සරල පියවර කිහිපයක් මෙන්න.
1. ශක්තිමත් මුරපද (Strong Passwords) භාවිතා කරන්න
බොහෝ දෙනෙක් තමන්ගේ උපන් දිනය හෝ දුරකථන අංකය මුරපදය විදිහට පාවිච්චි කරනවා. මෙය ඉතාම අවදානම් සහගතයි.
- අවම වශයෙන් අක්ෂර 12කවත් මුරපදයක් සාදාගන්න.
- එයට ඉලක්කම්, සංකේත ($, #, @) සහ ඉංග්‍රීසි කැපිටල්/සිම්පල් අකුරු මිශ්‍ර කරන්න.
- එකම මුරපදය විවිධ ගිණුම් සඳහා (Facebook, Gmail, Bank) භාවිතා කිරීමෙන් වළකින්න.
2. Two-Factor Authentication (2FA) සක්‍රිය කරන්න
මුරපදයට අමතරව තවත් ආරක්ෂක ස්ථරයක් එකතු කිරීම මෙහිදී සිදුවේ. ඔබ ගිණුමකට ඇතුළු වන විට ඔබේ දුරකථනයට එන කේතයක් (OTP) ඇතුළත් කිරීමට මෙයින් අවස්ථාව ලැබේ. එවිට කවුරුන් හෝ ඔබේ මුරපදය දැනගත්තත්, ඔවුන්ට ඔබේ ගිණුමට ඇතුළු වීමට නොහැකි වනු ඇත.
3. මෘදුකාංග යාවත්කාලීන (Software Updates) කිරීම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ නිතරම System Updates පැමිණෙනවා ඔබ දැක ඇති. බොහෝ දෙනෙක් මේවා මඟහරිනවා. නමුත් මේවා මගින් සිදුකරන්නේ ඔබේ උපාංගයේ ඇති ආරක්ෂක සිදුරු (Security patches) වසා දැමීමයි. එම නිසා නිතරම නවතම සංස්කරණය පාවිච්චි කරන්න.
4. නන්නාඳුනන ලින්ක් (Suspicious Links) ක්ලික් කිරීමෙන් වළකින්න
“ඔබට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් හිමිවී ඇත, මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න” වැනි ව්‍යාජ පණිවිඩ WhatsApp හෝ SMS හරහා අපට ලැබෙනවා. මේවා Phishing ප්‍රහාර ලෙස හඳුන්වනවා. එවැනි ලින්ක් හරහා ඔබ නොදැනුවත්වම ඔබේ දත්ත සොරකම් කළ හැකියි.
5. පොදු Wi-Fi (Public Wi-Fi) පාවිච්චියේදී ප්‍රවේශම් වන්න
දුම්රිය ස්ථාන, බස් නැවතුම් හෝ කැෆේ වල ඇති නොමිලේ ලබාදෙන Wi-Fi හරහා ඔබගේ බැංකු ගිණුම් වලට ඇතුළු වීමෙන් වළකින්න. මෙවැනි පොදු ජාල හරහා හුවමාරු වන දත්ත පහසුවෙන් හැකර්වරුන් අතට පත්විය හැකියි.
මතක තබා ගන්න: තාක්ෂණය දියුණු වන තරමටම සොරකම් සහ වංචාවන්ද දියුණු වේ. ඒ නිසා “පරිස්සම” කියන දේ අන්තර්ජාලයේදී අතිශයින්ම වැදගත්.


Leave a Reply