මිනිසුන් වන අපි ජීවිතය පහසු කර ගැනීම සඳහා නිරන්තරයෙන් විවිධ මෙවලම් මත යැපෙන්නෙමු. අතීතයේ භාවිතා කළ කැල්කියුලේටරයේ සිට GPS දක්වා එය එසේ විය. නමුත් දැන් කෘත්‍රිම බුද්ධිය (AI) ඊටත් වඩා ඔබ්බට ගොස් අප වෙනුවෙන් ලිවීමේ, පර්යේෂණ කිරීමේ සහ තර්ක කිරීමේ කාර්යයන් පවා තත්පර කිහිපයකින් සිදු කරයි. පර්යේෂකයන් මෙය හඳුන්වන්නේ “Cognitive Offloading” හෙවත් අපගේ මානසික කාර්යයන් තාක්ෂණයට පැවරීමක් ලෙසයි. මෙය අපගේ මොළය ක්‍රියාත්මක වන ආකාරය මූලික වශයෙන් වෙනස් කරමින් පවතී.
මානසික කාර්යයන් බාහිරට පැවරීමේ අවාසි MIT සහ TU Berlin වැනි ආයතන මගින් සිදු කළ පර්යේෂණවලට අනුව, ගැටලු විසඳීම සහ ලිවීම සඳහා AI සහායකයින් මත දැඩි ලෙස යැපීම අපගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. පර්යේෂණවලින් හෙළි වූයේ AI භාවිත කරන විට විවේචනාත්මක චින්තනයට අදාළ මොළයේ කොටස්වල ක්‍රියාකාරිත්වය අඩු වන බවයි. මෙහි ඇති ප්‍රධානම ගැටලුව වන්නේ AI නිසා අපගේ බුද්ධිය අඩු වීම නොව, ගැටලුවක් පිළිබඳව ගැඹුරින් සිතීමට ඇති අපගේ උනන්දුව හීන වී යාමයි. AI විසින් ඉතා සංකීර්ණ සහ විශ්වාසදායක පිළිතුරු ලබා දෙන විට, බොහෝ දෙනා එය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට පෙළඹේ. විකල්ප විසඳුම් සෙවීම නතර කිරීම හරහා අපගේ විවේචනාත්මක චින්තන හැකියාව (Critical thinking) මොට වී යයි.
අවධානය පැහැරගන්නා ඇල්ගොරිතම භාෂා ආකෘතිවලට (Language models) අමතරව, TikTok, Instagram, සහ YouTube වැනි යෙදුම් පසුබිමේ නිහඬව ක්‍රියාත්මක වන AI පද්ධති අපගේ අවධානය දැඩි ලෙස පාලනය කරයි. ඔබ වීඩියෝවක් නරඹන කාලය, ඔබ කොතරම් වේගයෙන් scroll කරන්නේද යන්න පවා මෙම ඇල්ගොරිතම විසින් නිරීක්ෂණය කර ඔබට වඩාත් ඇබ්බැහි වන අන්තර්ගතයන් ලබා දෙයි.
මෙය අපගේ මොළය නිරන්තරයෙන් කාර්යයන් අතර මාරු වීමට (task-switching) බල කරයි. සෑම දැනුම්දීමක්ම (notification) අපගේ මොළය වෙහෙසට පත් කරන අතර, එය මානසික විඩාවට සහ වැරදි සිදු වීමේ සම්භාවිතාව වැඩි කිරීමට හේතු වේ. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ, මෙම වේදිකා මගින් අපගේ මොළයේ ඩොපමයින් (dopamine) පද්ධතිය පාලනය කරමින් එය ඇබ්බැහියක් බවට පත් කිරීමයි. නොනවතින ‘scroll’ කිරීම සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ලැබෙන සතුට අඩු කර දමයි.
අපගේ පාලනය නැවත ලබා ගන්නේ කෙසේද? අපගේ අවධානය යනු මාංශ පේශියක් මෙන් පුහුණු කළ හැකි දෙයකි. ඇබ්බැහිවීම් පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයෙන් මිදීමට සවිඥානික ක්‍රියාමාර්ග ගත යුතු බවයි. දින 30 ක පමණ ඩිජිටල් විරාමයක් (Dopamine fasting) ලබා ගැනීම හරහා මොළයේ ඩොපමයින් මට්ටම නැවත සමතුලිත කරගත හැක. දුරකථනයේ notifications අක්‍රිය කිරීම, දුරකථනයේ තිරය grayscale mode එකට මාරු කිරීම සහ නිදන කාමරයෙන් දුරකථනය ඉවත් කිරීම වැනි සරල පුරුදු මගින් අනවශ්‍ය අවධානය වෙනතකට යොමු වීම වළක්වා ගත හැක. එමෙන්ම පොතක් කියවීම, ව්‍යායාම කිරීම වැනි මානසික හෝ ශාරීරික උත්සාහයක් අවශ්‍ය වන කාර්යයන්හි නිරත වීම මොළයේ නිරෝගී සමතුලිතතාවයක් ඇති කිරීමට උපකාරී වේ.
කෘත්‍රිම බුද්ධිය යනු අපගේ කාර්යක්ෂමතාව වැඩි කරන විශිෂ්ට මෙවලමකි. එහෙත් එය සීමාවකින් තොරව භාවිතා කිරීම අපගේ මානසික ශක්තිය අඩු කිරීමට හේතු විය හැක. අපගේ අරමුණ විය යුත්තේ මෙම තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නොව, එය සවිඥානිකව සහ පාලනයකින් යුතුව භාවිතා කරමින් අපගේ අවධානය රැකගැනීමයි.
AI ඇත්තටම අපගේ මොළයට කරන්නේ කුමක්ද? මෙම ලිපිය පදනම් වී ඇති DW Shift හි මෙම වීඩියෝව මගින් AI සහ අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විද්‍යාත්මක පසුබිම තවදුරටත් පැහැදිලි කරයි.


Leave a Reply