අපි අපේ ස්මාර්ට්ෆෝන් හැමතැනම අරන් යනවා. ඒ වගේම බැටරිය බහිනවා දකින එක තරම් කලබලයක් අපිට තවත් නැහැ. ඒ නිසාම බැටරිය පරිස්සම් කරගන්න කියලා අපි අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. හැබැයි තාක්ෂණය දැන් ගොඩක් වෙනස් වෙලා. අවුරුදු 10කට කලින් අපි ඉගෙන ගත්ත දේවල් වලින් දැන් තියෙන අලුත් ෆෝන් වලට වෙන්නේ ඇත්තටම හානියක්.

Pariganaka.com වෙතින් අද අපි කතා කරමු, ඔබ අදම විශ්වාස කිරීම නැවැත්විය යුතු ප්‍රධාන බැටරි මිථ්‍යාවන් (Myths) 5ක් ගැන.

1. මිථ්‍යාව: චාජ් කිරීමට පෙර බැටරිය 0% දක්වා බැසීමට ඉඩ දිය යුතුය.

  • ඇත්ත තත්ත්වය: මේක තමයි බැටරියකට කරන්න පුළුවන් ලොකුම හානිය. පරණ නිකල් (nickel-based) බැටරි වලට මේ කතාව ඇත්ත වුණත්, දැන් එන ලිතියම්-අයන් (lithium-ion) බැටරි සම්පූර්ණයෙන්ම බහිනකම් තියනවාට කොහෙත්ම කැමති නැහැ.
  • විසඳුම: ෆෝන් එක 0% ටම බහින්න දෙන එකෙන් බැටරියේ ආයු කාලය වේගයෙන් අඩුවෙනවා. හොඳම දේ තමයි බැටරිය නිතරම 20% ත් 80% ත් අතර තියාගන්න එක. එකපාර ගොඩක් වෙලා (0 සිට 100 දක්වා) චාජ් කරනවාට වඩා, ටිකෙන් ටික චාජ් කරන එක (Short, frequent top-ups) බැටරියට ගොඩක් ගුණදායකයි.

2. මිථ්‍යාව: රෑ එළිවෙනකම් චාජ් වෙන්න තිබ්බොත් ‘Overcharge’ වෙලා ෆෝන් එක සවුත්තු වෙනවා.

  • ඇත්ත තත්ත්වය: දැන් තියෙන ස්මාර්ට්ෆෝන් ඇත්තටම “ස්මාර්ට්”. බැටරිය 100% වුණු ගමන් ෆෝන් එක ඇතුළෙන්ම විදුලිය එන එක ස්වයංක්‍රීයවම නතර කරනවා. ඒ නිසා කොහොමටවත් Overcharge වෙන්නේ නැහැ.
  • විසඳුම: රෑ පුරා චාජ් වෙන්න දාලා තියන එකේ වරදක් නැහැ. තවත් ආරක්ෂිත වෙන්න ඕනේ නම් ෆෝන් එකේ තියෙන “Optimized Battery Charging” කියන පහසුකම On කරන්න (iOS සහ Android දෙකේම මේක තියෙනවා). මේකෙන් කරන්නේ, රෑ පුරාම බැටරිය 80% තියාගෙන, ඔබ අවදි වෙන්න ටිකකට කලින් ඉතුරු ටික 100% දක්වා චාජ් කරන එකයි. ඒකෙන් බැටරිය රත්වෙන එක අඩුවෙනවා.

3. මිථ්‍යාව: පාවිච්චි කරලා ඉවර වුණු Apps අයින් කරලා දැම්මොත් (Force-close) බැටරිය ඉතුරු වෙනවා.

  • ඇත්ත තත්ත්වය: Recent Apps අරගෙන ඔක්කොම උඩට අදින එකෙන් (Swipe up) ඇත්තටම වෙන්නේ බැටරිය වැඩිපුර වැයවෙන එකයි! Android සහ iOS කියන මෙහෙයුම් පද්ධති දෙකම පසුබිමේ (Background) තියෙන Apps පාලනය කරන්න ඉතා දක්ෂයි. App එකක් පසුබිමට ගියාම ඒක තාවකාලිකව නතර (Frozen) වෙන නිසා බැටරිය යන්නේම නැති තරම්.
  • විසඳුම: ඒ Apps ඒ විදිහටම තියෙන්න දෙන්න! ඔබ App එකක් බලහත්කාරයෙන් Close කරලා ආයෙත් මුල ඉඳන් Open කරද්දි, ෆෝන් එකේ ප්‍රොසෙසරයට (Processor) දෙගුණයක් මහන්සි වෙන්න වෙනවා. ඒකට ගොඩක් බැටරිය වැය වෙනවා.

4. මිථ්‍යාව: Fast Charging නිසා බැටරිය ඉක්මනින් සවුත්තු වෙනවා.

  • ඇත්ත තත්ත්වය: Fast charging තාක්ෂණයෙන් බැටරියට කෙලින්ම හානියක් වෙන්නේ නැහැ. බැටරියක් සවුත්තු වෙන්න ප්‍රධාන හේතුව “රස්නය” (Heat) යි. අලුත් ෆෝන් සහ Fast chargers අතර හොඳ සන්නිවේදනයක් තියෙනවා. බැටරිය හිස්ව තියෙද්දි වේගයෙන් චාජ් වුණත්, පිරීගෙන එද්දි රත්වීම වළක්වන්න චාජ් වෙන වේගය ස්වයංක්‍රීයවම අඩු කරනවා.
  • විසඳුම: බය නැතුව Fast charger එක පාවිච්චි කරන්න. හැබැයි ෆෝන් එක Fast charge වෙන ගමන් ලොකු ගේම් (Heavy 3D games) ගහන්න එපා, ඒ වගේම කෙලින්ම අව්ව වැටෙන තැන්වල චාජ් වෙන්න තියන්නත් එපා. මොකද ඒකෙන් ෆෝන් එක ගොඩක් රත්වෙලා බැටරියට හානි වෙන්න පුළුවන්.

5. මිථ්‍යාව: ෆෝන් එකට ආපු Original චාජරය විතරක්ම පාවිච්චි කළ යුතුයි.

  • ඇත්ත තත්ත්වය: Apple සහ Samsung වගේ සමාගම් ඔවුන්ගේම ගණන් වැඩි චාජර් ඔබ ලවා මිලදී ගන්නවන්න කැමති වුණත්, ඒක අනිවාර්ය නැහැ.
  • විසඳුම: Anker, Ugreen හෝ Belkin වගේ පිළිගත් වෙළඳ නාම (Brands) වල සහ නිවැරදි ප්‍රමිතීන් (USB-PD වැනි) තියෙන ඕනෑම චාජරයක් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම මඟහැරිය යුතු දේ තමයි, පාරේ කඩවල් වලින් ගන්න කිසිම ප්‍රමිතියක් නැති රුපියල් 500-1000 බොරු චාජර් (Fake chargers) පාවිච්චි කරන එක. ඒවායින් අනිවාර්යයෙන්ම ෆෝන් එකට හානි වෙන්න හරි ගිනිගන්න හරි පුළුවන්.

අවසාන නිගමනය: ඔබ මොන දේ කළත් අවුරුදු කීපයක් යද්දි ඕනෑම ෆෝන් බැටරියක ආයු කාලය ක්‍රමයෙන් අඩුවෙන එක සාමාන්‍යයි. හැබැයි මේ පරණ මිථ්‍යාවන් අතහැරලා නිවැරදිව ෆෝන් එක පාවිච්චි කළොත්, බැටරිය හොඳම තත්ත්වයෙන් වැඩි කාලයක් පාවිච්චි කරන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *