ඇම්ස්ටර්ඩෑම් — කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය සහ ඒ සඳහා ඉදිවන දත්ත මධ්‍යස්ථානවලින් පරිසරයට සිදුවන බලපෑමට එරෙහිව ක්‍රියාකාරීන් 100 කට අධික පිරිසක් ඇම්ස්ටර්ඩෑම් හි ඉදිවෙමින් පවතින දැවැන්ත Microsoft AI දත්ත මධ්‍යස්ථානයකට (Data Centre) බලහත්කාරයෙන් ඇතුළු වී දැවැන්ත විරෝධතාවයක නිරත වී තිබේ.

බෲක්ෆීල්ඩ් (Brookfield) සමාගමට අයත් ඔක්ට්‍රී (Oaktree) හි මුල්‍ය අනුග්‍රහය ඇතිව, ‘පියෝ ඩේටා සෙන්ටර්ස්’ (Pure Data Centres) සමාගම විසින් ඇම්ස්ටර්ඩෑම් හි ඉදිකරනු ලබන මෙම බිලියන ගණනක ව්‍යාපෘතිය, මේ වන විට තාක්ෂණික සමාගම්වල ඒකාධිකාරයට එරෙහි ජනතා විරෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.

විරෝධතාකරුවන් ආරක්ෂක වැටවල් කපා දමමින් ඉදිකිරීම් භූමියට ඇතුළු වී ඇති අතර, ඔවුන් එහි ඇති ඉදිකිරීම් දොඹකර (cranes) මතට නැඟ, බැලුම් රැඳවීම සහ දුම් සංඥා (flares) දැල්වීම මඟින් සිය විරෝධය පළ කර තිබේ. “අපිට ඔබේ දත්ත මධ්‍යස්ථාන එපා” (Screw your data centre) සහ “මේ ඉඩම් ජනතාවට මිස දත්තවලට නොවේ” (Land for people, not data) වැනි පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු එහි රැඳී සිටියහ.

මෙම විරෝධතාවයට මූලික වී ඇත්තේ AI තාක්ෂණය සඳහා අධික ලෙස ස්වභාවික සම්පත් පරිභෝජනය කිරීමයි. දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල වශයෙන් ඉඩම්, විදුලිය සහ ජලය අවශ්‍ය වන අතර, ඇම්ස්ටර්ඩෑම් වැනි නගරයකට මෙවැනි අත්‍යවශ්‍ය සම්පත් මෙලෙස නාස්ති කිරීමට ඉඩ දිය නොහැකි බව විරෝධතාකරුවෝ පවසති.

“මේ දත්ත මධ්‍යස්ථාන අපේ ලෝකය විනාශ කරනවා. ඔවුන් පරිභෝජනය කරන සම්පත් ප්‍රමාණය නිසා අපේ ජීවන පරිසරය අහිමි වෙමින් පවතිනවා,” යනුවෙන් විරෝධතාවයට එක්වූ සෑම් වැන් ඩර් බීක් (Sam van der Beek) පැවසීය. “මෙය ජනතාවට, නිවාස ඉදිකිරීමට සහ ප්‍රජාවට ප්‍රයෝජනවත් වන දේකට භාවිතා කළ යුතු ඉඩමක්. ඒ වෙනුවට ඔවුන් මෙතන හදන්නේ පීඩනය, සූරාකෑම සහ Microsoft සමාගමට විශාල ලාභයක් ඉපැයීමට උදව් වන AI දත්ත මධ්‍යස්ථානයක්.”

පාරිසරික ගැටලුවලට අමතරව, Microsoft සමාගම ඊශ්‍රායල හමුදාවට සහ ඇමරිකානු ආගමන විගමන බලාත්මක කිරීමේ ආයතනයට (ICE) සේවා සැපයීම හරහා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට හවුල් වී ඇති බවට ද ක්‍රියාකාරීන් චෝදනා කළහ.

AI තාක්ෂණය මඟින් මිනිස් නිර්මාණශීලිත්වය සහ මානුෂීය වටිනාකම් යටපත් කිරීමට උත්සාහ කරන බව පවසන තවත් විරෝධතාකරුවෙකු සඳහන් කළේ, “මම කාර්යක්ෂමතාව සහ ප්‍රමාණය (quantity) විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ ලස්සන දේවල් නිර්මාණය කරන්න මිනිසුන්ට ඇති ගුණාත්මක හැකියාවයි. AI සමඟ සටන් කිරීමෙන් මට මගේ මනුෂ්‍යත්වය නැවත ලබා ගැනීමට අවශ්‍යයි,” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, ව්‍යාපෘතියේ හිමිකාරිත්වය දරන Pure Data Centres සමාගම ඉල්ලා සිටියේ විරෝධතාකරුවන්ට ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත්, ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට තමන් සූදානම් බවත්ය. Microsoft සමාගම ද ප්‍රකාශ කර ඇත්තේ, සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට තමන් ගරු කරන නමුත්, නීති විරෝධී ලෙස කඩා වැදීම් අනුමත නොකරන බවයි.

මෙම ඇම්ස්ටර්ඩෑම් විරෝධතාවය, යුරෝපය පුරා වර්ධනය වෙමින් පවතින තාක්ෂණික විරෝධී රැල්ලක කොටසක් වන අතර, ඩබ්ලින්, වෝර්සෝ සහ ඩෙන්මාර්කය යන රටවල ද මෙවැනි දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව ඉදිරියේදී විරෝධතා සැලසුම් කර ඇත. ‘Stop Dirty Data Centres’ සංවිධානය පවසන්නේ තමන් තාක්ෂණික ප්‍රගතියට විරුද්ධ නොවන නමුත්, රජයන් විසින් දැඩි පාරිසරික නීති පනවන තෙක් මෙවැනි දැවැන්ත ඉදිකිරීම් වහාම අත්හිටුවිය යුතු බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *