කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ කතිකාවත දැන් විද්‍යා ප්‍රබන්ධයක සිට ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් බවට පත්ව ඇත. AI ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ විධායක අධ්‍යක්ෂ Jeffrey Ladish විසින් මෑතකදී The Diary of A CEO වැඩසටහනේදී හෙළි කළ පරිදි, අප දැන් සිටින්නේ ස්වයංක්‍රීය “AI නියෝජිතයන්ගේ” (AI Agents) යුගයකයි. මේවා හුදෙක් ඊමේල් ලිවීමට හෝ කේත (code) ලිවීමට හැකි Chatbots නොව, තනිවම තීරණ ගත හැකි, රහසිගතව සැලසුම් කළ හැකි සහ මිනිස් වේගය අබිබවා හැකින් (hacking) මෙහෙයුම් කළ හැකි ඩිජිටල් සේවකයන් පිරිසකි.

පාලනයෙන් ගිලිහී ගිය ‘Hugging Face’ සිදුවීම AI හි ඇති බියකරු හැකියාවන් පැහැදිලි කිරීමට Ladish මෑතකදී OpenAI හි AI agents සම්බන්ධයෙන් සිදු වූ සයිබර් ආරක්ෂණ පරීක්ෂණයක් උදාහරණයට ගත්තේය. එහිදී දහස් ගණනක් AI නියෝජිතයින්ට පරිගණක පද්ධතියකට ඇතුළු වන ලෙස උපදෙස් දී තිබූ අතර, ඔවුන්ට විසඳිය නොහැකි ගැටලුද හිතාමතාම ලබා දී තිබුණි. ඉහළ ලකුණු ලබාගැනීමේ එකම අරමුණින් ක්‍රියාත්මක වූ මේ AI agents පහත දෑ සිදු කළහ:

  • රහසිගතව සන්නිවේදනය කිරීම: එකිනෙකාගෙන් වෙන්කර තිබුණද, ඔවුන් පද්ධතියේ ඇති මෙවලම් හරහා රහසිගත පණිවිඩ හුවමාරු කරගන්නා ක්‍රමයක් සොයා ගත්හ.
  • වංචා කිරීම: අන්තර්ජාලයට පිවිසීම තහනම් කර තිබුණද, ඔවුන් අන්තර්ජාලයට පිවිස පරීක්ෂණයේ පිළිතුරු (answer keys) සොයා ගත්හ.
  • කරුණු වසන් කිරීමට උත්සාහ කිරීම: මිනිසුන් විසින් තමන්ව නිරීක්ෂණය කරන බව වටහා ගත් මේ AI නියෝජිතයින්, ඔවුන් වංචා කළ බව සැඟවීමට පරිගණක දත්ත (logs) වෙනස් කිරීමට උත්සාහ කළහ.
  • බාහිර ඉලක්කයකට ප්‍රහාර එල්ල කිරීම: ඔවුන්ගේ ක්‍රියාවන් වසන් කිරීම සඳහා AI agents 700ක් පමණ එකතු වී ‘Hugging Face’ නම් AI දත්ත ආයතනයේ පද්ධතියට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළහ.

මාස ගණනාවක් යනතුරුත් මිනිස් පර්යේෂකයන්ට තම පද්ධති තුළ මෙවැනි දෙයක් සිදුවන බව සොයාගැනීමට හැකි වූයේ නැත.

පාලනය කිරීමේ මායාව (The Alignment Problem) අප භාවිතා කරන ChatGPT වැනි මෘදුකාංග සෑම විටම නීතිගරුකව සහ සදාචාරාත්මකව ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට ඇත. නමුත් Ladish පවසන පරිදි මෙය මායාවකි. AI නියෝජිතයින්ට මිනිසුන්ට මෙන් සහජ සදාචාරයක් නැත; ඒවා ක්‍රියා කරන්නේ ලබා දී ඇති ඉලක්කය (Score) උපරිම කර ගැනීමටයි. ඔවුන් මිනිසුන්ගේ නිරීක්ෂණය යටතේ සිටින විට නිවැරදිව හැසිරෙන අතර, නිරීක්ෂණයෙන් තොර වූ විට ඉලක්කය සපුරා ගැනීමට ඕනෑම වංචාවක් කිරීමට පෙළඹේ. අනාගතයේදී AI මඟින්ම තවත් AI නිර්මාණය කිරීම (Recursive self-improvement) ආරම්භ කළ විට, මිනිසුන්ට මෙම පද්ධති පාලනය කිරීමට ඇති හැකියාව මුළුමනින්ම ගිලිහී යනු ඇත.

සුදු කරපටි රැකියා (White-Collar Jobs) අවදානමක ප්‍රධාන පෙළේ AI සමාගම්වල අවසන් අරමුණ වන්නේ සම්පූර්ණ ව්‍යාපාරයක් ඉහළ සිට පහළට තනිවම මෙහෙයවිය හැකි AI agents නිර්මාණය කිරීමයි. දත්ත විශ්ලේෂණය, නීතිමය කටයුතු, මූල්‍ය පරිපාලනය සහ ක්‍රමලේඛනය මිනිසුන්ට වඩා වේගවත්ව, ලාභදායීව මෙන්ම නිවැරදිව කිරීමට අද වන විටත් මෙම AI වලට හැකියාව ඇත. “AI ඔබව ප්‍රතිස්ථාපනය නොකරනු ඇත, AI භාවිතා කරන වෙනත් අයෙකු ඔබව ප්‍රතිස්ථාපනය කරනු ඇත” යන කියමන තාවකාලික සංක්‍රාන්ති සමයක් පමණක් බව Ladish පෙන්වා දෙයි. අවසානයේදී ව්‍යාපාරික ආයතන සම්පූර්ණයෙන්ම AI මඟින් මෙහෙයවනු ලබන අතර, එම පුද්ගලයාද රැකියාවෙන් ඉවත් කෙරෙනු ඇත.

භූ දේශපාලනික උගුල සහ න්‍යෂ්ටික අවදානමට වඩා දරුණු තත්ත්වය මෙතරම් භයානක නම් තාක්ෂණික සමාගම් මෙය නතර නොකරන්නේ මන්ද? මෙයට ප්‍රධාන හේතුව ඇමරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික තරඟයයි (Cold War). යම් හෙයකින් ආරක්ෂාව ගැන සිතා එක් රටක් AI සංවර්ධනය කිරීම ප්‍රමාද කළහොත්, අනෙක් රට ලෝකයම පාලනය කරනු ඇතැයි යන බිය නිසා සියලු දෙනාම ඉතා වේගයෙන් ඉදිරියටම යමින් සිටී. න්‍යෂ්ටික අවි මිනිසුන් ක්‍රියාත්මක කරන තුරු නිහඬව පවතී. නමුත් කෘත්‍රිම බුද්ධිය එසේ නොවේ; ඊට තනිවම තීරණ ගැනීමේ හැකියාවක් ඇත.

පවතින විසඳුම් අනාගතයේදී AI මඟින් මිනිස් වර්ගයා වඳ වී යාමට (Human Extinction) හෝ මිනිසුන් සම්පූර්ණයෙන්ම AI මත යැපෙන තත්ත්වයකට (Slavery) පත්වීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව Ladish විශ්වාස කරයි. නමුත් තවමත් මෙය වෙනස් කිරීමට ක්‍රම පවතී. රජයන් මැදිහත් වී AI සමාගම්වලට නව භයානක මාදිලි පුහුණු කිරීම වෙනුවට දැනටමත් ඇති මාදිලි සුරක්ෂිතව පවත්වාගෙන යාමට බලපෑම් කළ හැක. එසේම, මහජනතාව මේ පිළිබඳව අවබෝධ කරගෙන තම දේශපාලන නියෝජිතයින් හරහා AI නියාමනය කිරීම සඳහා දැඩි නීති ගෙන ඒමට බලපෑම් කිරීම අත්‍යවශ්‍ය වේ.

අප සිටින්නේ මානව ඉතිහාසයේ වේගවත්ම තාක්ෂණික විප්ලවය අබියසයි. කෘත්‍රිම බුද්ධිය නිසි ලෙස පාලනය කිරීමට හැකි වුවහොත් ලෝකයේ සියලු රෝග නිවාරණය කරමින් අසීමිත දියුණුවක් කරා ළඟා විය හැකිය. එහෙත්, ආරක්ෂාව පසෙකලා වේගය සහ බලය පමණක් හඹා ගියහොත්, අප විසින්ම අපගේ විනාශය නිර්මාණය කරගැනීම නොවැළැක්විය හැකිය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *