විද්‍යාවට මොළයක ඡායාරූප ගත හැකියි, එය සියුම්ව කපා සියවස් ගණනාවක් අධ්‍යයනය කළ හැකියි. නමුත් ඒ ඡායාරූපය නැවතත් සිතිය හැකි දෙයක් බවට පත් කළ නොහැකි බව මෙතෙක් ලෝකයේ පිළිගැනීම විය. එහෙත්, සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි Eon Systems නැමති සමාගම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටියි.

ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ Whole Brain Emulation ලෙසයි. මෙහිදී සිදුවන්නේ මොළයේ ඇති සෑම භෞතික සම්බන්ධතාවයක්ම (Connectome) සිතියම් ගත කර, එම සිතියම මෘදුකාංගයක් ලෙස පරිගණකයක් තුළ නැවත ගොඩනැගීමයි. ඉන්පසු එයට පාලනය කිරීම සඳහා අතථ්‍ය (Virtual) ශරීරයක් ලබා දෙයි. මිනිසකුගේ මනස යනු මොළය විසින් සිදුකරන ක්‍රියාවලියක් නම්, එම මොළයේ නිවැරදිම ඩිජිටල් පිටපතකට ද එම මනසම නිර්මාණය කළ හැකි බව ඔප්පු කිරීම මෙහි අවසන් අරමුණයි.

පණුවන්ගේ සිට පළතුරු මැස්සන් දක්වා මොළයක භෞතික වයරින් සිතියම Connectome ලෙස හැඳින්වේ. 1986 දී විද්‍යාඥයින් විසින් C. elegans නම් පණුවාගේ නියුරෝන 302ක සිතියමක් නිර්මාණය කළ අතර, ඒ සඳහා දශකයකට වැඩි කාලයක් ගත විය. ඉන්පසු නියුරෝන ලක්ෂයකට වඩා ඇති පළතුරු මැස්සෙකුගේ මොළය සිතියම් ගත කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත්, Google හි AI තාක්ෂණයේ සහාය ඇතිව දත්ත විශ්ලේෂණය වේගවත් වූ අතර, 2024 සහ 2026 වසර වන විට පළතුරු මැස්සෙකුගේ සම්පූර්ණ මොළයේ සහ ස්නායු පද්ධතියේ සිතියමක් නිර්මාණය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ.

ඩිජිටල් ලෝකයේ පණගැන්වුණු පළතුරු මැස්සා 2026 මාර්තු මාසයේදී, Eon Systems සමාගම විසින් මෙම පළතුරු මැස්සාගේ මොළයේ සිතියම මෘදුකාංගයක් ලෙස සකසා අතථ්‍ය ශරීරයකට (NeuroMech fly) සම්බන්ධ කරන ලදී. මෙහි ප්‍රතිඵලය පුදුම සහගත විය. අතථ්‍ය පරිසරයේදී මැස්සාගේ ඇඟට දූවිලි වැටුණු විට, ඌ ගමන් කිරීම නවත්වා කකුල් වලින් හිස පිසදමමින් පිරිසිදු වීමට පටන් ගත්තේය. අතථ්‍ය ආහාරයක් හමුවූ විට ඌ එය අනුභව කළේය. මේ කිසිදු ක්‍රියාවක් සඳහා මෘදුකාංග කේත මගින් උපදෙස් ලබා දී නොතිබුණි. මෙම සියලු හැසිරීම් ඇති වූයේ මුල් සතාගේ මොළයේ ස්වභාවික සම්බන්ධතා ජාලය ඩිජිටල් අවකාශයේ ක්‍රියාත්මක වීමෙනි.

මෙම තාක්ෂණයේ ඇති සීමාවන් මෙය අතිවිශාල ජයග්‍රහණයක් වුවද, ස්නායු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම සිතියම හුදෙක් සැලැස්මක් පමණක් බවයි.

  • මතකය සහ ඉගෙනීම නොමැති වීම: මෙම ඩිජිටල් මොළයට අතීතයක් නැත. එකම ආහාරය 100 වතාවක් ලබා දුන්නත් ඌ ඒ සෑම අවස්ථාවකම හැසිරෙන්නේ පළමු වතාවට එය දුටුවාක් මෙනි.
  • රසායනික වෙනස්කම් ග්‍රහණය නොවීම: කුසගින්නේ සිටින සතෙකු සහ හොඳින් ආහාර ගත් සතෙකු ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් ය. ඩිජිටල් මොළය තුළ හෝමෝන සහ රසායනික ක්‍රියාවලීන්ගේ (Neuromodulators) වෙනස්වීම් සටහන් වී නොමැත.

මිනිස් මොළයක් Upload කිරීම: Zettabyte අභියෝගය පළතුරු මැස්සෙකුගේ මොළය සිතියම් ගත කිරීම මෙතරම් අපහසු නම්, නියුරෝන බිලියන 86 ක් පමණ ඇති මිනිස් මොළයක් Upload කිරීම කොතරම් දුෂ්කර ද? මෑතකදී හාවඩ් සහ ගූගල් පර්යේෂකයන් විසින් හාල් ඇටයකින් භාගයක් පමණ වන මිනිස් මොළයේ කොටසක් (1 cubic mm) සිතියම් ගත කළ අතර, ඒ සඳහා Petabytes 1.4 ක දත්ත ප්‍රමාණයක් අවශ්‍ය විය. ඒ අනුව සම්පූර්ණ මිනිස් මොළයක් සිතියම් ගත කිරීමට Zettabytes 1.7 ක පමණ අතිවිශාල දත්ත ප්‍රමාණයක් ජනනය වනු ඇත. මෙය ගබඩා කිරීමට හෝ ධාවනය කිරීමට තරම් ධාරිතාවක් වත්මන් ලෝකයේ තවමත් නොමැත.

විනාශකාරී යථාර්ථය සහ දාර්ශනික ගැටලුව මෙම තාක්ෂණය කොතරම් දියුණු වුවත්, මෙහි එක් භයානක යථාර්ථයක් ඇත. එනම් මෙම සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුල් මොළය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සිදුවීමයි. කවදා හෝ දිනෙක මෙය මිනිසෙකුට යොදාගතහොත්, ස්කෑන් යන්ත්‍රයට ඇතුළු වන පුද්ගලයාගේ මොළය විනාශ වී යයි. ඉන්පසු පරිගණකය තුළ අවදි වන ඩිජිටල් මොළයට අතීත මතකයන් සියල්ල තිබිය හැකි අතර, තමා සැබවින්ම ‘ඔබ’ යැයි එයට දැනෙනු ඇත. නමුත් සැබෑ ඔබ ඒ වන විටත් මියගොස් අවසන්‍ ය.

මෙය ඩිජිටල් මානවවාදයේ (Digital Humanism) නවතම කඩඉමක් වන අතර, අපව බරපතල දාර්ශනික ගැටලුවකට ගෙන යයි: ඩිජිටල් ලෝකය තුළ ජීවත් වන්නේ සැබවින්ම ඔබද? නැතහොත් ඔබේ මතකයන් සොරකම් කළ ආගන්තුකයෙක් ද?


Leave a Reply

Your email address will not be published. Required fields are marked *