‘Dead Internet Theory’ හෙවත් මළ අන්තර්ජාල න්‍යාය යනු අන්තර්ජාලයේ ඇති අන්තර්ගතයෙන් සහ ක්‍රියාකාරකම්වලින් බහුතරයක් සැබෑ මිනිසුන් විසින් නොව, බොට් (bots) සහ ඇල්ගොරිතම මගින් නිර්මාණය කර පාලනය වන බවට වන සංකල්පයකි. මෙය කලක් හුදෙක් අන්තර්ජාල කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) ලෙස සැලකුවද, Generative AI හි සීඝ්‍ර දියුණුවත් සමග එය යථාර්ථයකට සමීප වෙමින් පවතී. අන්තර්ජාලයේ සම-නිර්මාතෘවරයෙකු වන වින්ට් සර්ෆ් (Vint Cerf) මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳව සිය අදහස් දැක්වීය. ඔහුගේ ප්‍රධාන පණිවිඩය වූයේ: අන්තර්ජාලය බොට්වරුන්ගෙන් පිරී යාම ගැන අප අනිවාර්යයෙන්ම බිය විය යුතු නැති වුවත්, AI තාක්ෂණය මිනිසුන් ලෙස පෙනී සිටීම අප වහාම නැවැත්විය යුතු බවයි.
“මම” (I) යනුවෙන් AI භාවිත කිරීමේ භයානකකම
සර්ෆ්ට අනුව, AI යුගයේ ප්‍රධානතම අර්බුදය වන්නේ රැකියා අහිමි වීම හෝ යන්ත්‍ර ලෝකය ආක්‍රමණය කිරීම නොවේ; එය යන්ත්‍ර සහ මිනිසුන් අතර ඇතිවන රැවටිලි සහගත අන්තර්ක්රියාවයි. AI පද්ධතියක් “මම හිතන විදිහට…” (Well, I think…) ලෙස ප්‍රකාශ කරන විට, එය සිතාමතාම මිනිස් විඥානයක් අනුකරණය කරයි. මේ නිසා පරිශීලකයින් විසින් එම මෘදුකාංගයට මිනිස් හැඟීම්, අභිප්‍රේරණ සහ සීමාවන් ආරෝපණය කිරීමට පෙළඹේ.
“කෘත්‍රිම බුද්ධියක් විනයගරුක කරන්නේ කෙසේදැයි අප තවමත් දන්නේ නැහැ. මිනිසෙකුට දෙන ආකාරයේ දඬුවමක් හෝ පෙළඹවීමක් යන්ත්‍රයකට ලබා දෙන්න බැහැ. සතියක් අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කරනවා යැයි ඔබට AI යන්ත්‍රයකට තර්ජනය කළ නොහැකියි,” යනුවෙන් ඔහු පෙන්වා දෙයි. අපට මෘදුකාංගයක් මිනිසෙකු ලෙස වගවීමට බැඳිය නොහැකි බැවින්, එයට මිනිසෙකු ලෙස පෙනී සිටීමට ඉඩ දීම දැඩි අවදානමකි.
AI නියෝජිතයින් (Agentic AI) අතර ඇතිවිය හැකි වැරදි වැටහීම්
AI තාක්ෂණය හුදෙක් කතාබහ කිරීමට පමණක් නොව, අප වෙනුවෙන් තීරණ ගැනීමට, මුදල් වියදම් කිරීමට සහ විවිධ කාර්යයන් ස්වාධීනව කිරීමට (Agentic AI) දැන් සැලසුම් කර ඇත. මෙම AI නියෝජිතයින් එකිනෙකා හා සන්නිවේදනය කරමින් සැබෑ ලෝකයේ කාර්යයන් ඉටුකරන විට, මිනිස් භාෂාවේ ඇති අපැහැදිලි ස්වභාවය (ambiguity) නිසා බරපතල වැරදි වැටහීම් ඇතිවිය හැක. මෙය වළක්වා ගැනීම සඳහා, අනාගතයේදී AI යන්ත්‍රවලට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට මිනිස් භාෂාවට වඩා අතිශය නිරවද්‍ය වූ වෙනමම භාෂාවක් නිර්මාණය වීමට ඉඩ ඇති බව ඔහු පවසයි. එසේම, මෙම AI නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඩිජිටල් අනන්‍යතාවයක්, නීතිමය වගකීමක් සහ විගණන පද්ධතියක් (Audit trails) අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුය.
‘මළ අන්තර්ජාල න්‍යාය’ පිළිබඳ නව දැක්මක්
අනාගතයේදී අන්තර්ජාලයේ ක්‍රියාකාරකම්වලින් 99% ක්ම බොට්වරුන් විසින් කරනු ඇතැයි යන න්‍යාය ගැන ඇසූ විට සර්ෆ් ලබා දුන්නේ වෙනස්ම පිළිතුරකි. “එය එසේ සිදුවුවත්, එය නරක දෙයක් නොවන්නට පුළුවන්,” ඔහු පැවසීය.
අන්තර්ජාලයේ ප්‍රමිතියෙන් තොර AI අන්තර්ගතයන් (AI slop) විශාල වශයෙන් පැවතියද, විශාල භාෂා ආකෘති (LLMs) මගින් අතිශය ප්‍රයෝජනවත් දේවල්ද නිර්මාණය වේ. උදාහරණයක් ලෙස විද්‍යාඥයින් පවා තම පර්යේෂණ දත්ත විශ්ලේෂණය සඳහා සහායකයින් ලෙස AI තාක්ෂණය සාර්ථකව භාවිත කරයි. ඒ නිසා බොට්වරුන් නිර්මාණය කරන දෑ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවේ. නමුත්, මෙහිදී මිනිසුන්ට විචාරාත්මක චින්තනය (Critical thinking) අත්‍යවශ්‍ය වේ. මන්දයත් AI යන්ත්‍ර වැරදි තොරතුරු පවා ඉතා විශ්වාසවන්ත හා නිල ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට සමත් බැවිනි. කිසිදු මූලික දැනුමක් නොමැති පුද්ගලයෙකුට මෙය ඉතා භයානක විය හැක.
ප්‍රතිස්ථාපනයක් නොව, හැකියාවන් වර්ධනය කිරීමක් (Augmentation, Not Replacement)
අවසාන වශයෙන්, සර්ෆ් AI මගින් මිනිසුන් සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය වනු ඇතැයි යන අසුබවාදී මතය ප්‍රතික්ෂේප කරයි. ඔහු AI දකින්නේ අන්තර්ජාලය මෙන්ම මිනිස් හැකියාවන් වර්ධනය කරන (Augmenting capability) තවත් එක් මෙවලමක් ලෙසයි. අන්තර්ජාලය මගින් තොරතුරු හුවමාරු කිරීමේ අපගේ හැකියාව අපේක්ෂා කළාටත් වඩා පුළුල් කළා සේම, AI මගින් දත්ත මතක තබාගැනීමේ, විශ්ලේෂණය කිරීමේ සහ නව නිර්මාණ කිරීමේ අපගේ හැකියාවන් තවදුරටත් පුළුල් කරනු ඇත.


Leave a Reply