ඩිජිටල් ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, මෙරට තුළ අතත්‍ය වත්කම් (Virtual Assets) එනම් Cryptocurrency වැනි ඩිජිටල් වත්කම් නියාමනය කිරීම සහ ඒ පිළිබඳව ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) එකඟතාවයකට පැමිණ තිබේ.
ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් හා සමගාමීව ශ්‍රී ලංකාවද ඉදිරියට ගෙන යාම රජයේ මෙම නවතම පියවරේ ප්‍රධාන අරමුණයි.
නියාමන රාමුවක් සඳහා මූලික සාකච්ඡා
මෙම ක්‍රියාවලියේ මූලික පියවරක් ලෙස, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් අතත්‍ය වත්කම් පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. වේගයෙන් වෙනස් වන ගෝලීය ඩිජිටල් ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ දේශීය නියාමන රාමුව (regulatory framework) සමග සමපාත කිරීම මෙහි අරමුණ වී ඇත.
මෙම විශේෂ වැඩසටහන සඳහා පහත සඳහන් ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වී ඇත:
- ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank)
- කොළඹ කොටස් වෙළඳපොළ (Colombo Stock Exchange)
- ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (Ministry of Digital Economy)
අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර
මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් පහත කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වී තිබේ:
- දේශීය වෙළඳපොළේ පවතින යථාර්ථය සහ ගෝලීය වශයෙන් පවතින පූර්වාදර්ශයන් අධ්‍යයනය කිරීම.
- අතත්‍ය වත්කම් හැසිරවීමේදී ඇතිවිය හැකි අවදානම් කළමනාකරණය (risk management) කිරීම සහ නීතිමය අනුකූලතාවය (compliance) පවත්වා ගැනීම.
- අතත්‍ය වත්කම් (Virtual Assets) නිර්මාණය කරන්නේ කෙසේද, ඒවා වෙළඳාම් කරන්නේ (traded), ගබඩා කරන්නේ (stored) සහ විවිධ අංශ හරහා භාවිතා කරන්නේ (utilized) කෙසේද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීම.
Pariganaka.com හි අපගේ අදහස:
කලක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ නිශ්චිත නීතිමය රාමුවක් නොමැතිව පැවති Cryptocurrency වැනි ඩිජිටල් වත්කම් සඳහා නිසි නියාමනයක් ගෙන ඒමට රජය සහ අදාළ ආයතන මැදිහත් වීම ඉතා වැදගත් පියවරකි. මෙමගින් දේශීය ආයෝජකයින්ට මෙන්ම Freelancers ලාට ද ඉදිරියේදී ආරක්ෂිතව සහ නීත්‍යානුකූලව ඩිජිටල් මුදල් ගනුදෙනු කිරීමට මාවතක් විවර වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.


Leave a Reply