පසුගිය වසර කිහිපය තුළ Generative AI තාක්ෂණය අපගේ ඩිජිටල් අත්දැකීම් සම්පූර්ණයෙන්ම වෙනස් කළ අතර, කෘත්රිම බුද්ධියේ ඊළඟ පියවර වන්නේ භෞතික ලෝකය හා සම්බන්ධ AI (Physical AI) තාක්ෂණයයි. එහි මූල්යමය වටිනාකම අති විශාලය. Nvidia හි ප්රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං (Jensen Huang) ඇස්තමේන්තු කරන්නේ Physical AI සඳහා වන වෙළඳපල වටිනාකම ඩොලර් ට්රිලියන 40 ක් වන බවයි. එමෙන්ම Morgan Stanley ආයතනය පුරෝකථනය කරන්නේ 2050 වන විට රොබෝ තාක්ෂණ වෙළඳපල ඩොලර් ට්රිලියන 25 දක්වා වර්ධනය වන බවයි.
මෙම නවීන වෙළඳපල තුළ සාර්ථකව ගමන් කිරීම සඳහා ඇන්ඩෲ කං (Andrew Kang), private robotics සහ physical AI සමාගම්වල ආයෝජනය කරන NASDAQ හි ලැයිස්තුගත පළමු Closed-end අරමුදල වන Robostrategy ආයතනය සම-ස්ථාපනය කළේය. CNBC සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු සමඟ “Taku” නම් කුඩා රෝබෝවරයෙකු ද අදහස් දැක්වීමට එක්කර ගනිමින් ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.
මූලාකෘතිවල සිට “Waymo ක්රමවේදය” දක්වා
දශක ගණනාවක් තිස්සේ කාර්මික රොබෝ හස්තයන් (Robotic Arms) කර්මාන්තශාලා තුළ භාවිත වූවත්, මිනිසුන් වෙසෙන පරිසරයන්හි ක්රියාත්මක විය හැකි පොදු භාවිත රොබෝවරු බොහෝ විට පැවැතුණේ පරීක්ෂණ මට්ටමේ (Prototypes) පමණි. නමුත් දැන් එම සීමාව පසුකරමින් සිටින බව ඇන්ඩෲ කං පවසයි.
‘Taku’ වැනි රොබෝවරු මේ වන විටත් සැබෑ ලෝකයේ භාවිතයට එකතු වෙමින් පවතී. රොබෝ තාක්ෂණ සමාගම් සියල්ල එකවර කිරීමට උත්සාහ කරනවා වෙනුවට, කං හඳුන්වන “Waymo Approach” හෙවත් පියවරෙන් පියවර දියුණු වන ක්රමවේදය භාවිතා කරයි.
“Physical AI බොහොමයක් නිර්මාණය වෙන්නේ ඉතා සුවිශේෂී, සීමිත කාර්යයන් සඳහායි. කාලයත් එක්ක ඒ මාදිලි වඩාත් හොඳ අතට පත් වෙලා, පසුව මිනිසුන්ට කළ හැකි පොදු කාර්යයන් කිරීමට හැකියාව ලබනවා,” කං පැහැදිලි කළේය. උදාහරණයක් ලෙස Taku දැනට ආගන්තුක සත්කාර (Hospitality) ක්ෂේත්රයේ රෙදි සහ නෙප්කින් නෙලීම (folding) වැනි කාර්යයන් සඳහා යොදවා ඇත.
නිව් යෝර්ක් හි කාර්යබහුල ඩම්ප්ලින් (dumpling) ආපනශාලාවක Taku රොබෝවරයෙකු දැනටමත් සේවයේ යොදවා ඇති බව ඔහු සඳහන් කළේය. නෙප්කින් හෝ තුවා නැමීම වැනි වෙහෙසකාරී, ඒකාකාරී කාර්යයන් රොබෝවරුන්ට පැවරීමෙන්, එම ආපනශාලාවේ සේවකයන්ට ආහාර පිළියෙල කිරීම වැනි වැඩි නිපුණතාවයක් අවශ්ය කාර්යයන් සඳහා අවධානය යොමු කිරීමට ඉඩ සැලසේ.
දත්තවල වැදගත්කම (Data Moat)
මෙවැනි ස්වයංක්රීය මට්ටමකට ළඟා වීමට අතිවිශාල දත්ත ප්රමාණයක් අවශ්ය වේ. ස්වයංක්රීයව ධාවනය වන මෝටර් රථ සඳහා මාර්ග අත්දැකීම් අවශ්ය වන්නා සේම, Physical AI මාදිලි සඳහාද සැබෑ ලෝකයේ පැය සිය දහස් ගණනක අත්දැකීම් අවශ්ය වේ.
AI මගින් ක්රියාත්මක වන පාස්සන (Welding) රොබෝ තාක්ෂණය ගැන අවධානය යොමු කරන Path Robotics සමාගම ගැන කං මෙහිදී සඳහන් කළේය. වසර 10 කට ආසන්න කාලයක් පුරා පැය සිය දහස් ගණනක පාස්සන දත්ත ඇසුරෙන් ඔවුන්ගේ මාදිලිය දියුණු කිරීමෙන් පසු, ලොව විශාලතම නෞකා නිෂ්පාදකයෙකු වන Huntington Ingalls සමාගම සමඟ ඩොලර් මිලියන 600 ක දැවැන්ත ගිවිසුමකට එළඹීමට ඔවුන්ට හැකි විය.
පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා
Tesla, Amazon, සහ SpaceX වැනි ප්රමුඛ තාක්ෂණික සමාගම් රොබෝ තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළද, වඩාත්ම උනන්දුවක් දක්වන අවස්ථා පවතින්නේ පෞද්ගලික (Private) සමාගම් තුළ බව කං විශ්වාස කරයි.
Figure AI සමාගම උදාහරණයක් ලෙස දක්වන ඔහු, ඔවුන්ගේ Humanoid (මිනිස් රූපී) රොබෝ තාක්ෂණය Tesla හි Optimus රොබෝවරයාට සමාන හෝ ඊට තරමක් ඉදිරියෙන් සිටින බව පවසයි. රොබෝ තාක්ෂණ ක්ෂේත්රය එක් සමාගමක් පමණක් අධිකාරිය පතුළුවන ස්ථානයක් නොවනු ඇතැයි ඔහු පවසයි. වෙනුවට, සුඛෝපභෝගී රථ සිට සාමාන්ය භාවිත රථ දක්වා විවිධ අංශ පවතින මෝටර් රථ කර්මාන්තය මෙන්, විවිධ වෙළඳපල අවශ්යතා සඳහා විවිධ රොබෝ සමාගම් බිහිවනු ඇත.
Anthropic, SpaceX සහ OpenAI වැනි සමාගම් මෙන්ම රොබෝ තාක්ෂණ සමාගම්ද දිගු කාලයක් පෞද්ගලික සමාගම් ලෙස පවතින බවත්, විශාල ආයෝජන අරමුදල් මගින් ඔවුන්ට අවශ්ය ප්රාග්ධනය ලැබෙන බවත් කං වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකාවේ කර්මාන්ත නැවත නැංවීම
භූ-දේශපාලනික තත්ත්වයන්ද මෙම ක්ෂේත්රයේ වර්ධනයට බලපායි. චීන Physical AI සහ LiDAR සමාගම් සඳහා ඇමෙරිකානු රජය පනවා ඇති සීමාවන් නිසා ඇමෙරිකානු නවක සමාගම් (Startups) සඳහා විශාල ඉඩකඩක් නිර්මාණය වී ඇත.
Robostrategy ආයතනයේ ප්රධාන අවධානය යොමු වී ඇත්තේ වාණිජ සහ සැබෑ ලෝකයේ එදිනෙදා භාවිතයන් සඳහා වන රොබෝවරුන් කෙරෙහිය. “ඇමෙරිකාව තුළ නැවතත් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම සහ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම ඉතා වැදගත් බව ඇමෙරිකානු රජය පැහැදිලි කර තිබෙනවා,” යැයි කං පැවසීය.
ඇමෙරිකාව සිය නිෂ්පාදන ක්ෂේත්රය නැවත ගොඩනැගීමට උත්සාහ කරන විට, මිනිස් ශ්රමයට අත්වැලක් ලෙස Physical AI සඳහා වන ඉල්ලුම තවත් වැඩි වනු ඇත. එය ඩොලර් ට්රිලියන ගණනක අනාගත රොබෝ විප්ලවයකට මග පාදනු ඇත.


Leave a Reply