2000 දශකයේ මුල් භාගයේදී අන්තර්ජාලය (World Wide Web) සාමාන්‍ය ජනතාව අතරට වේගයෙන් පැමිණෙමින් තිබූ කාලය ඔබට මතකද? එකල අන්තර්ජාලය යනු ලෝකයටම මැජික් එකක් බඳු විය. අනාගතයේදී අන්තර්ජාලය අතිශය වටිනා තැනක් වේවි යන බලාපොරොත්තුවෙන්, කිසිදු පැහැදිලි ව්‍යාපාරික සැලසුමක් හෝ ලාභයක් නොමැතිව හුදෙක් “.com” යන නම යොදාගත් සමාගම්වල කොටස් මිල අහස උසට නැගුණි. එහෙත් 2000 වසරේදී මෙම මවාපෑම පුපුරා ගිය අතර, එය ආර්ථික ඉතිහාසයේ “Dot-com Bubble” ලෙස නොමැකෙන පාඩමක් ඉතිරි කළේය.

අද වන විට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ද අසන්නට ලැබෙන්නේ එවැනිම කතාවකි. AI නිසා ලෝකයේ රැකියා වෙළඳපොළ සහ තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් පවතී. සමහරුන් පවසන්නේ AI යනුත් කවදා හෝ පුපුරා යන බබල් (Bubble) එකක් බවයි. තවත් පිරිසක් පවසන්නේ මෙය කිසිදා කඩා නොවැටෙන තාක්ෂණික විප්ලවයක් බවයි.

කොටස් වෙළඳපොළට Bubble එකක් වුවද, සැබෑ ලෝකයට නොවේ!

අද වන විට AI සමාගම්වල කොටස් වටිනාකම තීරණය වන්නේ ඒවායේ සැබෑ ලාභයට වඩා මිනිසුන් තුළ ඇති අධික බලාපොරොත්තු සහ රැල්ල මතයි. ChatGPT, Claude වැනි AI මෙවලම් මිලියන ගණනක් ජනතාව නොමිලේ හෝ කුඩා දායක මුදලක් (Subscription) යටතේ භාවිත කළද, එම මුදලින් පමණක් මෙම පද්ධති නඩත්තු කිරීමේ දැවැන්ත පිරිවැය පියවා ගත නොහැක. මෙම AI මොඩල ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක අලාභයක් දැරීමට මෙම සමාගම්වලට සිදුවී ඇත.

Circular Financing හෙවත් වටරවුම් මූල්‍යකරණයේ උගුල

තම ආදායම කෘත්‍රිමව ඉහළ නංවා පෙන්වීම සඳහා ලෝකයේ ප්‍රධාන තාක්ෂණික දැවැන්තයින් (Nvidia, Microsoft, OpenAI වැනි) මේ වන විට භයානක මූල්‍ය උගුලක් නිර්මාණය කරගෙන ඇත. මෙය “Circular Financing” හෙවත් වටරවුම් මූල්‍යකරණය ලෙස හැඳින්වේ.

  • ක්‍රියාවලිය: Microsoft වැනි සමාගම් OpenAI වෙත ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරයි. ඉන්පසු OpenAI සමාගම එම මුදල් භාවිතා කර Nvidia වෙතින් මිල අධික AI චිප් (Chips) සහ Microsoft වෙතින් Cloud සේවා මිලදී ගනී.
  • ප්‍රතිඵලය: එවිට Nvidia සහ Microsoft සමාගම් තම නිෂ්පාදන සඳහා ලෝකයේ දැවැන්ත ඉල්ලුමක් ඇති බව පෙන්වමින් තම කොටස් වෙළඳපොළ වටිනාකම තවත් ඉහළ නංවා ගනී.

මෙය දුටු බාහිර ආයෝජකයින් තව තවත් මුදල් මෙම සමාගම්වල ආයෝජනය කරයි. එනම්, මෙම පාඩුව පියවන්නේ පාරිභෝගික ආදායමෙන් නොව, නව ආයෝජකයින්ගේ මුදල් වලිනි. නව ආයෝජන නැවතුණු දාක කුඩා සමාගම් වැසී ගොස් සමස්ත කොටස් වෙළඳපොළම කඩා වැටීමේ (Market Crash) අවදානමක් පවතී.

Dot-com Bubble එක සහ AI Bubble එක අතර ඇති ලොකුම වෙනස

ඩොට්-කොම් අර්බුදයේදී ආයෝජකයින් මුදල් යෙදෙව්වේ හුදෙක් සංකල්පයකට (Concept) හෝ වෙබ් අඩවියකට පමණි. එය කඩා වැටුණු පසු ඉතිරි වූ භෞතික වත්කමක් නොවීය.

නමුත් AI තාක්ෂණයේදී තත්වය මීට වඩා වෙනස්ය. මෙහිදී ආයෝජනය කෙරෙන්නේ සැබෑ භෞතික වත්කම් (Physical Assets) වන AI Chips, Data Centers සහ Cloud සේවා සඳහාය. යම් හෙයකින් මෙම සමාගමක් වැසී ගියද, එම ඉහළ ධාරිතාවකින් යුත් පරිගණක උපාංග සහ සර්වර්ස් වෙනත් ඕනෑම පරිගණක අවශ්‍යතාවක් සඳහා නැවත යොදාගත හැක.

අනාගතය කුමක් වෙයිද?

Dot-com bubble එක පුපුරා ගියා යැයි අන්තර්ජාලය ලෝකයෙන් නැති වී ගියේ නැත; එය වඩාත් ශක්තිමත්ව ව්‍යාප්ත විය. AI තාක්ෂණයට ද අත්වන්නේ මෙම ඉරණමය. කොටස් වෙළඳපොළේ කුමක් සිදුවුවද, සාමාන්‍ය ජනතාවට AI යනු බබල් එකක් නොවේ. එය මිනිස් ඵලදායිතාව දස දහස් ගුණයකින් ඉහළ නංවන අත්‍යවශ්‍ය මෙවලමකි.

මේ වන විටත් AI-PCs සහ AI බලගන්වන ලද ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට පැමිණෙමින් තිබේ. ඉදිරියේදී Large Language Models (LLMs) කුඩා කර (Compress), අන්තර්ජාල පහසුකමක් නොමැතිව වුවද අපගේ පරිගණකයේ හෝ දුරකථනයේම (Local execution) ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. එමඟින් අනාගතයේදී අධික දායක මුදල් (Subscriptions) ගෙවීමෙන් තොරව අඩු මිලකට AI භාවිත කිරීමේ අවස්ථාව අපට හිමිවේ.

අනාගතයේදී කොටස් වෙළඳපොළ තුළ AI බබල් එක පුපුරා යා හැකි වුවද, සැබෑ ලෝකය තුළ එය ආපසු හැරවිය නොහැකි තාක්ෂණික විප්ලවයකි. එබැවින් මෙම නව තාක්ෂණයට බිය වනවා වෙනුවට, අනාගතයට ගැළපෙන පරිදි අපගේ කුසලතා (Skills) යාවත්කාලීන කර ගැනීම අද අප ගත යුතු හොඳම පියවරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *