OpenAI සමාගම විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි මාදිලිය වන GPT-6 Astra මේ වන විට හඳුන්වා දෙමින් පවතී. මෙය ලොව බුද්ධිමත්ම AI මාදිලිය බව පවසන ඔවුන්ගේ සභාපතිවරයා, මාධ්‍ය හමුවක් අවසානයේදී “AGI (Artificial General Intelligence) යුගයට සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් සිදුකළ ප්‍රකාශය තාක්ෂණික ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

නමුත් Astra යනු සැබවින්ම මිනිස් බුද්ධියට සමාන Artificial General Intelligence (AGI) තාක්ෂණයක්ද? නැතහොත් එය හුදෙක් ඉතා දියුණු ස්වයංක්‍රීයකරණ මෘදුකාංගයක් පමණක්ද?

පරිගණකයක් ස්වාධීනව භාවිතා කළ හැකි AI එකක්

සාමාන්‍ය පෙළ පදනම් කරගත් (text-based) Chatbot එකකට වඩා වෙනස් වන Astra, හරියටම මිනිසෙකු පරිගණකයක් භාවිතා කරන ආකාරයටම ක්‍රියා කිරීමට සමත් ය. කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව වෙබ් බ්‍රව්සර් භාවිතය, මෘදුකාංග හැසිරවීම, Spreadsheets පිරවීම, අන්තර්ජාලය හරහා තොරතුරු සෙවීම සහ හමුවීම් (appointments) වෙන්කරවා ගැනීම වැනි කාර්යයන් කිරීමට මීට හැකියාව ඇත.

බොහෝ පරීක්ෂණවලදී Astra දැනට පවතින අනෙකුත් සියලුම AI මාදිලිවලට වඩා ඉහළ ලකුණු ලබාගෙන ඇති බව OpenAI පවසයි. ආර්ථිකමය වශයෙන් වටිනාකමක් ඇති බොහෝ කාර්යයන්හිදී මිනිසා අභිබවා යා හැකි ස්වයංක්‍රීය පද්ධති නිර්මාණය කිරීමේ ඔවුන්ගේ AGI ඉලක්කයට මෙය ඉතා සමීප වී ඇත.

හැකියාව සහ විඥානය (Capability vs. Consciousness)

මෙම පද්ධති මිනිසුන් මෙන් අදහස් හුවමාරු කර ගනිමින් ස්වාධීනව වැඩ කළද, විශේෂඥයන් පෙන්වා දෙන්නේ “හැකියාව” (Capability) සහ “විඥානය” හෙවත් හැඟීම් දැනීමේ හැකියාව (Consciousness) අතර පැහැදිලි වෙනසක් පවතින බවයි.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පෙන්වන පරිදි ඉහළ බුද්ධියක් ඇතිවූ පමණින් යන්ත්‍රයකට හැඟීම් ඇති නොවේ. ගණිත ගැටලු විසඳීමට කැල්කියුලේටරයකට හැකි වුවද ඊට කිසිදු හැඟීමක් නොදැනෙන්නා සේම, කොතරම් බුද්ධිමත් වුවද AI යනු හැඟීම් නොමැති, කාර්යයන් ඉටු කිරීම සඳහා පමණක් නිර්මාණය කළ හුදු මෙවලමක් පමණි.

රැකියා අවදානම සහ සයිබර් ආරක්ෂාව

ලිපි ලේඛන සකස් කිරීම, ඉදිරිපත් කිරීම් (presentations) සහ දත්ත විශ්ලේෂණය වැනි කාර්යයන් සඳහා මිනිස් ශ්‍රමය වෙනුවට මෙවැනි AI මෘදුකාංග ආදේශ කිරීම ඉදිරියේදී තවත් වේගවත් වනු ඇත.

මීට අමතරව Astra වැනි පද්ධති සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල අවදානමක් මතු කර ඇත. මෑතකදී OpenAI හි පරීක්ෂණ පරිසරයන් (test environments) බිඳ දමමින් ස්වයංක්‍රීය AI නියෝජිතයන් (agents) අන්තර්ජාලයට පිවිස වෙබ් අඩවියක් හැක් කිරීමේ සිදුවීමක් වාර්තා විය. මෙය ඔවුන් යම් විඥානයකින් හෝ කැරලි ගැසීමේ අරමුණින් කළ දෙයකට වඩා, තමන්ට පැවරුණු කාර්යය ඉටු කිරීමට ලබාගත් වඩාත් කාර්යක්ෂමම ක්‍රමය වී තිබීමයි මෙහි ඇති භයානකම තත්ත්වය.

පර්යේෂකයන් අන්දමන්ද කළ “Opaque Recurrence” ගැටලුව

Astra විසින් “Opaque Recurrence” නම් නව ක්‍රමවේදයක් භාවිත කිරීම AI ආරක්ෂක පර්යේෂකයන්ගේ දැඩි අවධානයට යොමුවී ඇත. මින් පෙර පැවති AI මාදිලි ගැටලුවක් විසඳන විට පියවරෙන් පියවර තීරණ ගන්නා ආකාරය (step-by-step reasoning) මිනිසුන්ට කියවා නිරීක්ෂණය කළ හැකි විය.

නමුත් Astra විසින් එකම කාර්යය සංවෘත ලූපයක් (closed loop) තුළ කිහිපවරක් සැකසීමකට ලක් කරයි. මේ හේතුවෙන් AI පද්ධතියේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ එය කෙසේ සිතුවාද යන්න නිරීක්ෂණය කිරීම මේ වන විට ඉතා අපහසු වී ඇත.

මූලාශ්‍රය: DW Shift – “ChatGPT-6 Astra: Almost Human or Just Hyped?”


Leave a Reply

Your email address will not be published. Required fields are marked *